fbpx

ගොසිප් ලංකා Gossip Lanka

ශ්‍රී ලංකාවේ පෙරළිකාර ප්‍රවෘත්ති පුවත් සහ ගොසිප් වෙබ් අඩවිය. Sri Lankan trending online news and gossip media.

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සුබ පැතුම්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාවේ ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හදද්-සර්වෝස් මහතා අතර හමුවක් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා

එහිදී කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව කටයුතු කරන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා රජයට ෆාරිස් හදද්-සර්වෝස් මහතා ප්‍රශංසා එක් කර තිබෙනවා

ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර ඇති “සම්බන්ධතාවයට කෘතඥතාව” පළ කරමින් හදද්-සර්වෝස් මහතා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට පසුගිය මැතිවරණය ජයග්‍රහණයට පමණක් නොව, ශ්‍රී ලංකාව කොවිඩ්-19 වසංගතය පාලනය කරන ආකාරය ගැන ද සුබ පැතුම් එක් කර තිබෙන බවයි වාර්තා වන්නේ

එමෙන්ම කොවිඩ්-19 වසංගත තත්වයෙන් ඉක්මණින් ශ්‍රී ලංකාවෙන් පහව යාමට ප්‍රාර්ථනා කරන බවද ෆාරිස් හදද්-සර්වෝස් මහතා පවසා තිබෙනවා

හදද්-සර්වෝස් මහතා සමඟ මාලදිවයිනේ සහ ශ්‍රී ලංකාවේ ලෝක බැංකු කළමණාකරු චියෝ-කන්ඩා මහත්මිය ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටි අතර
වසර ගණනාවක් පුරා ලෝක බැංකුව ශ්‍රී ලංකාව සමඟ පවත්නා සමීප සහයෝගීතාවයට ස්තූතිය පුද කළ ශ්‍රී ලංකා නියෝජිතයෝ නව රජය එම සම්බන්ධතාවය අඛණ්ඩව පවත්වාගෙන යන බවට ද සහතික වුණා

ශ්‍රී ලංකාවට සහයෝගය දැක්විය හැකි හොඳම ආකාරයට සහය පළ කරමින් “මෙම අර්බුදය යහපත වෙනුවෙන් පරිවර්තනය කරගන්නේ කෙසේදැයි අපි බලමු” යැයි මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාවේ ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හදද්-සර්වෝස් මහතා මෙහිදී පැවසුවා

ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා පිළිබඳව මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාවේ ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හදද්-සර්වෝස් මහතා විමසා සිටි අතර එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කර සිටියේ කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සහ ඉන් පසුව ආර්ථික සංවර්ධනය, මං මාවත්, පානීය ජලය, සනීපාරක්ෂාව සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට රජය ප්‍රමුඛතා ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

කෘෂිකාර්මික ක්ෂේත්‍රය පිළිබඳව ද අග්‍රාමාත්‍යතුමා හා ලෝක බැංකු අධ්‍යක්ෂතුමා සාකච්ඡා කළ අතර, කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවින් සඳහා අගය එකතු කළ, ශ්‍රී ලාංකේය සන්නාමය සහිත නිෂ්පාදන ජාත්‍යන්තර වෙළදපොළට හඳුන්වාදීමේ හැකියාව සහ ඊට සහය පළ කිරීම ගැනද මෙහිදී නියෝජිත පිරිස සාකච්ඡා කළා

ශ්‍රි ලංකාවේ ආයුර්වේද නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වශයෙන් විශාල ඉල්ලුමක් පවතින බව ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හදද්-සර්වෝස් මහතා කියා සිටියා

සාකච්ඡාවට භාජනය වූ තවත් අංශයක් වූයේ චිත්‍රපට සංචාරක ව්‍යාපාරයයි.

ඉතා දියුණු සංචාරක කර්මාන්තයක් පවතින ශ්‍රී ලංකාවට සංචාරක කර්මාන්තයේ මීළග පියවර ජයගැනීමට ලොව පුරා විනෝදාස්වාද කර්මාන්තය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ආකර්ශනය කර ගැනීමට හැකියාව ඇති බව ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හදද්-සර්වෝස් මහතා කියා සිටිනවා

චිත්‍රපටයක හෝ රූපවාහිනී වැඩසටහනක රූගත ස්ථානයක් දැකීමට සැලැස්වීමෙන් එම ස්ථානයට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාවට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බව අධ්‍යයනවලින් හෙළි වී තිබෙන බවත් ,නවසීලන්තයේ පිහිටි ලෝඩ් ඔෆ් ද රින්ග්ස් සිනමා පටයේ රූගත ස්ථානය ඊට ප්‍රධානතම උදාහරණය බව මෙහිදී සාකච්ඡා වි තිබෙනවා

චිත්‍රපට සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීමට ලෝක බැංකුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට උනන්දුවක් දක්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙහිදී අවධාරණය කර තිබෙනවා

ස්වර්ණවාහිනී live@8 මගන් උපුටා ගැනීමක්